අපගේ වත්මන් ආර්ථික අර්බුදය (#EconomicCrisisLK) පෙර නොවූ විරූ ආකාරයේ එකක් වන්නේ කෙසේද (සහ ඇයි) යන්න අප විමසා බලන අතර, අප හට ණය ගෙවීම පැහැර හරින බවට ප්‍රකාශ කිරීමට සිදු වූයේ මන්ද යන්න සහ මේ සියල්ල සමඟ IMF හට ඇති සම්බන්ධය අපි සොයා බලමු.

April 16, 2022

Read this article in English | සිංහල | தமிழ்

rajapakseIMF default.jpeg

කතාව සහ විශ්ලේෂණය: උමේෂ් මොරමුදලි සංස්කරණය: අයිෂා නසීම් පරිවර්තනය: නිශාදි ගුණතිලක

විදේශ ණය ආපසු ගෙවීමේ හැකියාව අපට අහිමි වී ඇත. ණය ආපසු ගෙවීම අභියෝගාත්මක සහ කළ නොහැකි තත්ත්වයකට පැමිණ තිබේ.” - මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට යන්තමින් දින දෙකකට පෙර, එනම් අප්‍රේල් 12 වැනි දින, ශ්‍රී ලංකා රජය නිවේදනය කළේ ඔවුන් විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහාය ඇතිව ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යොමුවන බවයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ අලුතින් පත් වූ මහා භාණ්ඩාගාර ලේකම් කේ. එම්. එම්. සිරිවර්ධන මෙය හැඳින්වූයේ IMF හි සහාය ලබාගෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අභිප්‍රාය ඇතිව සිදු කරන ‘පූර්වක්‍ර, සාකච්ඡා කරන ලද, ණය පැහැර හැරීමක්' (pre-emptive negotiated default) ලෙසයි. ආර්ථික විද්‍යාව පිළිබඳව ගැඹුරු දැනුමක් නොමැත්තෙකු හට මෙය පැහැදිලි කරන්නේ නම්, මෙයින් අදහස් කරන්නේ ශ්‍රී ලංකාව විදේශ ණය ආපසු ගෙවීම දැනට නවතා ඇති බව හා ගෙවීම් සම්පූර්ණ කිරීමට තවත් කාලයක් අවශ්‍ය වනු ඇති බව යි.

නිදහසින් පසු ශ්‍රී ලංකා රජයක් ණය ආපසු ගෙවීම පැහැර හරින පළමු අවස්ථාව මෙයයි. වෙනත් වචනවලින් පැවසුවහොත්, මෙය ශ්‍රී ලංකාවේ පළමු ස්වෛරී පැහැර හැරීමයි (sovereign default). අපගේ දූපත් රාජ්‍යය පෙර කිසිම දිනක මෙතරම් අගාධයකට වැටී නොමැති අතර මින් ගොඩඒමට ලෙහෙසි ක්‍රමයක් නොමැත.

අප මෙවැනි තත්ත්වයකට පත් වූයේ කෙසේ ද? එසේම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පැතීම අපගේ එකම විකල්පය වන්නේ ඇයි?

අපගේ පෙර විශ්ලේෂණයන්හි දී, අප අපගේ ආර්ථිකයේ ව්‍යුහාත්මක දුර්වලතා සහ ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඉහළ යමින් පැවතුණු අන්දම පැහැදිලි කරන ලදි. බොහෝ ආර්ථික විද්‍යාඥයින් සඳහා, ස්වෛරී පැහැර හැරීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ IMF හි සහය පැතීම අනිවාර්ය බව මෙන්ම රට අසීරු වසර කිහිපයකට ඉදිරියේ දී මුහුණ දෙන බව කලින්ම පැහැදිලි විය.

විදේශ ණය ආපසු ගෙවිය යුත්තේ විදේශ මුදල් ඒකකවලින් බව අප මතක තබා ගත යුතුය; සාමාන්‍යයෙන්, ඇමෙරිකානු ඩොලර්වලින්. අපගේ ණය ආපසු ගෙවීමේ හැකියාව බොහෝ දුරට රඳා පවතින්නේ අපගේ විදේශ මුදල් ඉපයීමේ හැකියාව මතයි. අඩු අපනයන හේතුවෙන් අප මේ අංශයෙන් දුර්වලයි. රටක විදේශ මුදල් ඉපැයීම් අඩු වන තරමට විදේශ ණය ආපසු ගෙවීම දුෂ්කර වේ.

දැන් ශ්‍රී ලංකාව සිය විදේශ ණය ආපසු ගෙවීම් වැඩි ප්‍රමාණයක් අත්හිටුවා ඇති බැවින්, ආනයන සඳහා ගෙවීම සහ විදේශ ණය ගෙවීම යන දෙකම කිරීමට උත්සාහ කිරීම වෙනුවට අපට දැන් අත්‍යවශ්‍ය ආනයන සඳහා ගෙවීමට අප සතු විදේශ සංචිතවලින් වැඩි ප්‍රමාණයක් භාවිත කළ හැකිය. විදේශ මුදල් සංචිත අඩු අවස්ථාවක අප විදේශ ණය ආපසු ගෙවීමට උත්සාහ කළහොත්, භාණ්ඩ ආනයනය කිරීමට මුදල් ඉතිරි නොවේ. එසේම මෙය අනවශ්‍ය ආනයනයන් කපා හැරීමට රටවල්වලට බල කරයි.

මෙම අර්බුදය පෙර නොවූ විරූ දෙයක් වන්නේ ඇයි?

වත්මන් ආර්ථික අර්බුදය හේතු කිහිපයක් නිසාවෙන් පෙර නොවූ විරූ දෙයක් බවට පත්වේ.

News Curry ඉතා ගැළපෙන ලෙස පැවසූ පරිදි, අප ජනාධිපතිතුමාගේ නිමිති කියන්නිය වන ඥානක්කා මෙම ණය පැහැර හැරීම නම් කලින් දැක නැත. පින්තුරය News Curry වෙතින්.

News Curry ඉතා ගැළපෙන ලෙස පැවසූ පරිදි, අප ජනාධිපතිතුමාගේ නිමිති කියන්නිය වන ඥානක්කා මෙම ණය පැහැර හැරීම නම් කලින් දැක නැත. පින්තුරය News Curry වෙතින්.

පළමුව, ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් නිරන්තරයෙන් පහත යාම හේතුවෙන්, 2019 අප්‍රේල් මාසයෙන් පසු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (ISB) නිකුත් කිරීම හරහා ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් ණය ලබාගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි විය. මේ හේතුවෙන් 2020-2022 කාලය තුළ කල් පිරෙන ISB ආපසු ගෙවීම අතිශයින් දුෂ්කර විය. නව ISB නිකුත් කිරීම ද දුෂ්කර කාර්යයක් බවට පත් වූයේ එවකට අභිනවයෙන් තේරී පත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ලබාදෙන ලද බදු කප්පාදුව හේතුවෙන් 2019 අගභාගයේ දී ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහත හෙලීම හේතුවෙනි. මෙම ණය ශ්‍රේණිගත කිරීම පහත හෙලීමෙන් පසුව ද COVID-19 හි අහිතකර සාර්ව ආර්ථික ගම්‍යාර්ථවලට ප්‍රතිචාර වශයෙන් තවත් එවැනි පහත හෙලීම් මාලාවක් සිදු වූ හෙයින් ISB නිකුත් කිරීම කළ නොහැකි කාර්යයක් බවට පත් විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස, විදේශ මුදල් (ඇමෙරිකානු ඩොලර්, සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවට වඩාත්ම අවශ්‍ය විදේශ මුදල්) ණයට ගැනීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව තවදුරටත් සීමා විය.

<aside> 👉🏽 ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර යනු කිසියම් ව්‍යාපෘතියකට සම්බන්ධ නොවන වාණිජ ණය ගැනීම් වේ. මෙයින් අදහස් කරන්නේ එම මුදල් වියදම් කරන ආකාරය සම්බන්ධයෙන් රජයට පූර්ණ නිදහස ඇති බව යි. ඉල්ලන සම්පූර්ණ ණය මුදලම ද රජයට එක වර ලැබේ. ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර, ව්‍යාපෘති ණයවලට වඩා මිල අධිකයි.

</aside>

මෙම ණය ශ්‍රේණිගත කිරීම් එතරම් වැදගත් වන්නේ ඇයි?

<aside> 👉🏽 රටක ණය ශ්‍රේණිගත කිරීම් රටේ ණය ආපසු ගෙවීමේ හැකියාව පෙන්නුම් කරයි. එබැවින්, එවැනි ශ්‍රේණිගත කිරීමක් පහත වැටීම ණය ආපසු ගෙවීමේ හැකියාවේ පිරිහීමක් ඇඟවුම් කරයි. ණය ශ්‍රේණිගත කිරීම් අඩු වන තරමට ණය ආපසු ගෙවීමේ හැකියාව ද අඩු වේ.

</aside>

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කළ, 2019 දී ලබාදෙන ලද බදු සහන සැලකිය යුතු ආදායම් ප්‍රමාණයක් අහිමි කරන බවත්, එමඟින් ශ්‍රී ලංකාවේ විදේශ ණය ආපසු ගෙවීමේ හැකියාව අඩු වන බවත් ශ්‍රේණිගත කිරීමේ ආයතන අනතුරු අඟවන ලදි. 2020 වන විටත්, ශ්‍රී ලංකාව ඉහළ අයවැය හිඟයක් (රාජ්‍ය වියදම් රාජ්‍ය ආදායමට වඩා වැඩි වීම) පෙන්නුම් කළ අතර, තවදුරටත් බදු සහන ලබාදීම හේතුවෙන් බදු ආදායම තවදුරටත් අඩු වී, ඊටත් වඩා ඉහළ අයවැය හිඟයක් ඇති විය. මේ හේතුවෙන් සැලකිය යුතු ආදායම් වැඩිවීමක් නොමැතිවම තව තවත් ණය ගැනීමට රජයට සිදු විණි.

ඔබට පෙනෙන පරිදි මෙය බැරෑරුම් සාර්ව ආර්ථික ගැටලුවක් වන අතර එය ණය ශ්‍රේණිගත කිරීම පහත වැටීමට තුඩුදිනි.