June 1, 2022

Read this article in English | සිංහල | தமிழ்

1.jpg

කරුණු සොයාබැලීම: උමේෂ් මොරමුදලි සංස්කරණය: අයිෂා නසීම්

පරිවර්තනය: නිශාදි ගුණතිලක


ඔබ විසින් අසන ලද ප්‍රශ්න:

ශ්‍රී ලංකාව ණය ගෙවීම පැහැර හැරියේ පළමු වතාවට ද?


අපේ පිළිතුර:

ඔව්. ශ්‍රී ලංකා රජය විසින්, 2022 අප්‍රේල් 12 වැනි දින, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි බහුපාර්ශ්වික ආයතන වෙත සිදු කරන ණය ආපසු ගෙවීම් හැර අනෙකුත් විදේශ ණය ආපසු ගෙවීම් අත්හිටුවන ලදි. නිදහසින් පසු කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා රජය විසින් සිදු කරන ලද පළමු ණය අත්හිටුවීම මෙය වන අතර එය සාමාන්‍යයෙන් රටේ පළමු ස්වෛරී ණය ගෙවීම පැහැර හැරීම ලෙස හඳුන්වයි.

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් (International Sovereign Bond) සඳහා පොලිය නියමිත දින ගෙවීමට (මෙය බොහෝ විට කූපන් ගෙවීම, coupon payment, ලෙස හැඳින්වේ) රට අපොහොසත් වූ අතර, ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව ණය ගෙවීම පැහැර හැරීම පිළිබඳව පසුගිය සතිය හෝ දෙක හෝ කාලය තුළ නැවතත් ගෝලීය සහ දේශීය සිරස්තල මතු විය. ණය ආපසු ගෙවීම සඳහා ලබා දී තිබූ සහන කාලය මැයි 18 වන දිනෙන් අවසන් විය. කූපන් ගෙවීම සිදු කිරීමට ශ්‍රී ලංකාව අසමත් වීම පිළිබිඹු කිරීම සඳහා, සම්මත භාවිතයක් ලෙස, Fitch Ratings ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම් සීමා සහිත පැහැර හැරීම (Restrictive Default) දක්වා පහත හෙලන ලදි.

මෙම සිදුවීම්වලට සමගාමීව ඇතැම් මාධ්‍ය ඒ බව වාර්තා කළේ ශ්‍රී ලංකාව සිය ඉතිහාසයේ පළමු වතාවට ණය ආපසු ගෙවීම පැහැර හැරියේ මැයි මාසයේ දී බවයි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව අප්‍රේල් මාසයේ දී තමන් ණය ගෙවීම පැහැර හරින බව නිවේදනය කර තිබුණි. ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයට අදාළ කූපන් ගෙවීම සිදු කිරීමට අපොහොසත් වීම ඇත්තටම සැලකිය යුතු බලපෑමක් ඇති නොකරන ලදි; ඒ ශ්‍රී ලංකාව ඒ වනවිටත් සිය ස්වෛරී පැහැර හැරීම පිළිබඳව නිවේදනය කර තිබූ නිසායි.

සමහර මාධ්‍ය මෙය අර්ථකථනය කළේ ශ්‍රී ලංකාව මැයි 18 වන දාදැඩි පැහැර හැරීමකට' මුහුණ දුන් ලෙසට යි. 'දැඩි පැහැර හැරීම' යන යෙදුමට විවිධ නිර්වචන ඇති අතර, ආර්ථික විද්‍යාවට සම්බන්ධ පොත පත දැඩි පැහැර හැරීම යන යෙදුම භාවිත කරන්නේ ණයගැතියා, ණයහිමියන් සමඟ සද්භාවයෙන් යුතුව සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කරන අවස්ථාවලදී ය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල, ණයහිමියන් සමඟ සාකච්ඡා කිරීමට සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට තම අභිප්‍රාය ශ්‍රී ලංකාව පැහැදිලිවම පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ මූලික පියවරවලින් එකක් වන ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මූල්‍ය සහ නීති උපදේශකයින් තෝරාගැනීම ද සිදු කරන ලදි.

එබැවින්, ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ගෙවීම පැහැර හැරීම 'දැඩි පැහැර හැරීමක්' ලෙස වර්ගීකරණය කළ නොහැක.

විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම් මොනවා ද?


අපේ පිළිතුර:

විරෝධතා දැක්වීමේ අයිතිය මූලික අයිතිවාසිකම්වලින් එකක් ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ගැබ් වී ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මෙය පැහැදිලිව සඳහන් කර නොමැති වුව ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි ව්‍යවස්ථාව විරෝධතා දැක්වීමේ අයිතිය සඳහා පදනම සකස් කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (අ), (ආ) සහ (ඇ) අනුව්‍යවස්ථා අනුව, සෑම පුරවැසියෙකුටම (අ) භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළකිරීමේ නිදහසට; (ආ) සාමකාමීව රැස්වීමේ නිදහසට; සහ (ඇ) සමාගමයේ නිදහසට හිමිකම ඇත්තේ ය.